ලංකාවේ සංහිඳියාවේ නාමයෙන් සිදු වූ දේ ජිනීවාහිදී අනාවරණය වේ

ලංකාවේ සංහිඳියාවේ නාමයෙන් සිදු වූ දේ ජිනීවාහිදී අනාවරණය වේ

යුද්ධය සංහිඳියාව සහ ලංකාවේ මානව අයිතිවාසිකම් යනුවෙන් ජූලි 12 වන දින ජිනීවාහි දී පවත්වන ලද සංවාද සභාවකදී 2015 ජිනීවා 30/1 යෝජනාව හේතුවෙන් ලංකාවට අද මුහුණ පාන්නට සිදුව ඇති භයංකර ප‍්‍රතිවිපාක අනාවරණය වීම සිදුවිය. ශී‍්‍ර ලංකාව පිලිබඳ ගෝලීය සංසදයේ විධායක කමිටුව විසින් මේ දිනවල එහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාවේ 41වන සැසිවාරයට සමගාමීව මෙම සංවාද මණ්ඩපය සංවිධානය කරන ලදී.

ජිනීවා යෝජනා මගින් ශී‍්‍ර ලංකාවේ ආරක්ෂක යාන්ත‍්‍රණය අඩපන කර පාස්කු ඉරිදා ප‍්‍රහාරයන් සඳහා මග පෑදූ ආකාරය එහි දී නීතිඥ ජේ. ටෙනී ප‍්‍රනාන්දු මහතා විසින් පැහැදිලි කරන ලදී. ඒ යටතේ යෝජනා කරන ලද ශී‍්‍ර ලංකාවේ ආරක්ෂක අංශයේ ප‍්‍රතිසංවිධාන ලංකා ආණ්ඩුව විසින් කිසිඳු සොයා බැලීමකින් තොරව කි‍්‍රයාත්මක කිරීම මෙම තත්වයට හේතු වූ බව ඒ මහතා විසින් පෙන්වා දෙන ලදී.

ශී‍්‍ර ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ ලබාදී ඇති ආගමික නිදහස අන්තවාදී සංවිධාන විසින් ත‍්‍රස්තවාදී කටයුතු සංවිධානයට භාවිතා කර ඇති බව පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් අනාවරණය වන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මාලින්ද සෙනෙවිරත්න මහතා විසින් එහි දී ප‍්‍රකාශ කරනු ලැබිණි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාවේ යෝජනා මගින් රටවල් මත ඇති කරනු ලබන පීඩනය බලවත් රාජ්‍යයන් විසින් එම රටවල් වෙතින් අයුතු වාණිජ හා යුදමය වාසි ලබාගැනීම සඳහා අවභාවිතා කරන ආකාරය මෙහි දී හෙළිදරව් කරනු ලැබුවේ බ‍්‍රයන් බස්නායක මහතා විසිනි. ඒ මහතා දීර්ඝ කාලයක සිට ස්විට්සර්ලන්තයේ වාසය කරමින් ශී‍්‍ර ලංකාවේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන්නෙකි. ජීනීවා මානව හිමිකම් කොමිසම බටහිර බලවතුන්ට පක්ෂග‍්‍රාහීව කටයුතු කරන ආකාරයත් ශී‍්‍ර ලංකාව වැනි කුඩා රටවල අයිතිවාසිිකම් උල්ලංඝනය කරන ආකාරයත් ඒ මහතා විසින් පැහැදිලි කරනු ලැබිණි. සෝපා ගිවිසුම ශී‍්‍ර ලංකාව දෙකට තුනට කැඞීයාමටත් ලංකාවේ වහල් භාවයටත් හේතුවන බව එතුමාගේ අදහසයි.

තුර්කි ජාතික අන්තර්ජාතික ජාතික කි‍්‍රයාකාරිකයෙකු වන මෙහෙමට් ෂුක්රු ගසෙල් මහතා පැවසුවේ ඊනියා විමුක්ති සංවිධාන විසින් සිදුකරනු ලබන මිනීමැරුම් සම්බන්ධයෙන් කටයුතු කිරීමට එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සංවිධානය පුදුම සහගත මැලිකමක් දක්වන බවයි. ලංකා රජයට එරෙහි ඝාතන චෝදනා එල්ල කළත් ජීනීවා මානව හිමිකම් කොමිසම එල්ටීටීඊ ඝාතන ගැන නිහඬ පිළිවෙතක් අනුගමනය කරයි.

මෙම සංවාද සභාව මෙහෙයවනු ලැබුවේ එරික් මාකාවිට මහතා විසිනි.

COMMENTS