යහපාලන ජිනීවා පාරේම මේ රජය යන නිසා රණවිරුවන් හිරවෙලා… ගෝලීය ශ‍්‍රී ලංකා සංසදයෙන් ඇමැති දිනේෂ්ට සංදේශයක්

යහපාලන රජය ජිනීවා යෝජනාව සම්බන්ධව අනුගමනය කළ පිළිවෙත වත්මන් රජයද අනුගමනය කිරීම නිසා අපේ රණවිරුවන් යුද අපරාධ චෝදනාවලින් නිදහස් නොවන බව ගෝලීය ශ‍්‍රී ලංකා සංසදයේ විධායක සභාව විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා වෙත හදිසි සංදේශයක් එවමින් ප‍්‍රකාශ කර ඇත.

ගෝලීය ශ‍්‍රී ලංකා සංසදයේ විධායක සභාව මේ බව පවසා ඇත්තේ හිටපු විදේශ ඇමැති තිලක් මාරපන මහතා ජිනීවා ගිය මගම වත්මන් රජය අනුගමනය කරන බව ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීම නිසාය.

එම සංසදය යවා ඇති ලිිපියේ මෙසේද සඳහන් කර ඇත.

‘පසුගිය ජනාධිපතිවරණයේදී රණවිරු ගායෙන් යුක්තව උසස් සංඛ්‍යාවක දේශපේ‍්‍රමී ජනතාවක් විදේශ රටවල සිට සිය ඡුන්දය පාවිච්චි කිරීමට මෙරටට පැමිණියහ. ඔවුන් ඡුන්දය පාවිච්චි කළේ රණවිරුවන්ට එල්ල වී ඇති යුද අපරාධ චෝදනාවලින් ඔවුන්ව ගලවා ගැනීම උදෙසායි. මේ නිසා ගෝලීය ශ‍්‍රී ලංකා සංසදයේ විධායක කමිටුව සහ ජාතික සංවිධාන කමිටුව එක්කර පූර්ණකාලීන කමිටුවක් පත්කළ යුතුයි. එම කමිටුවේ නිර්දේශ 43 වැනි මානව හිමිකම් සමුළුව වෙත යොමු කළ යුතුව ඇත. රණවිරුවන් කමිටුවේ නිර්දේශ වලින් හමුදාව නිර්දෝෂී බව සනාථ කරන වාර්තාවක්ද ඉදිරිපත් කළ යුතුය. මේ හැර 30/1 සහ 40/1 ජිනීවා යෝජනාවල සම අනුග‍්‍රහයෙන් රජය ඉල්ලා අස්වන ලෙසද ඉල්ලා සිටින්නෙමු.

ජනපති ගෝඨාභය රාජපක්‍ෂ වෙතද යවා ඇති මේ සංදේශයට ගෝලීය ශ‍්‍රී ලංකා සංසදයේ විධායක සභාවේ යසස් ධර්මදාස, එරික් මාකවිට, සේනක රාජපක්‍ෂ, හර්ෂ පෙරේරා, ලලිත් පේ‍්‍රමලාල්, ප‍්‍රසංග ජයමාන්න, ජගත් චන්ද්‍රවංශ සහ නුවන් බෙල්ලන්තුඩාව යන මහත්වරු අත්සන් කර ඇත.

 

ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා,
විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය,
විදේශ කටයුතු අමාත්‍යංශය,
කොළඹ, ශ්‍රී ලංකාව

මානව හිමිකම් සමුළුවේ යුද අපරාධ චෝදනා වලට මුහුණදෙන ආකාරය පිළිබඳව රජයේ ස්ථාවරය තහවුරුකර ගැනීම

ගරු අමාත්‍යතුමණි,

පසුගිය 22 වන දින ‘දි අයිලන්ඩ්’ පුවත්පතේ රජයේ ප්‍රවෘති ප්‍රකාෂක කෙහෙළිය රඹුක්වැල්ල මැතිතුමා ප්‍රකාෂ කළ ලෙස සටහන්ව තිබුනේ වත්මන් රජයද ජිනීවාහි මානව හිමිකම් සමුළුවේ යුද අපරාධ චෝදනා විශයෙහි මාරපන මහතා ගෙන ගිය ක්‍රියා පිළිවෙත ඉදිරියටත් ක්‍රියාත්මක කරන බවය.

එවකට විදේශ කටයුතු පිළිබඳව ගරු අමාත්‍ය තිලක් මාරපන මහතා 2019 මාර්තු 21 දින ජිනීවාහිදී පවසා තිබුනේ මානව හිමිකම් සමුළුව විසින් පනවා ඇති නිර්දේෂ ව්‍යවස්ථානුකුලව ක්‍රියාත්මක කරනු ලබන බවත්, එවන් නිර්දේෂ 1000 කට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මක කර ඇති බවත්, තව දුරටත් සම අනුග්‍රහය පවත්වා ගැනීමට කටයුතු කරන බවත්, ඒ අනුව පනවා ඇති නිර්දේෂ සැපිරීමෙන් අවසන් කරන බවත්වේ. මාරපන මහතා තවදුරටත් පවසා තිබුනේ මානව හිම්කම් සමුළුවට රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන සමග සම්බන්ධවී අවශ්‍ය තොරතුරු වල නිරවද්‍යභාවය තහවුරු කරගන්නා ලෙසට ආරාධනය කරන බවත් වේ.

මෙහිදී සැළකිය යුතු පළමු කාරණය වන්නේ සාක්ෂි පනත, අතුරුදහන් වූවන්ගේ පනත, උදර්පන පනත සහ වන්දි ගෙවිමේ පනත ආදී පනත් සම්මත කිරීම මගින් පැවති ව්‍යවස්ථාව මේවන විටත් වෙනස් කර මානව හිමිකම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කර තිබෙන බවත්, පලාත් නවයකට බලය බෙදන ව්‍යවස්ථාව, ප්‍රතිත්‍රස්ථ පනත, සත්‍යය සෙවිමේ සහ වගවීමේ පනත ආදී ව්‍යවස්ථා වෙනස්වීම් සිදුවෙමින් පැවති බවත්, සම්මත කරගෙන තිබුනු පනත් හතර හේතුවෙන් දෙමුහුන් අධිකරණයක් ස්ථාඵනය කිරීම සඳහා අවෂ්‍යතාවයක් නොපැවති බවත් වේ.

සැළකිය යුතු දෙවන කාරණය වන්නේ මානව හිමිකම් සමුළුවට මෙරට රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන සමග නිරවද්‍යභාවය පිළිබඳව කරුණු තහවුරු කර ගැනීමට කටයුතු කරන ලෙස ආරාධනා කර තිබුනද රණවිරුවන් යුද අපරාධ නොකරේ යැයි තහවුරු කිරීමට කිසිදු රාජ්‍ය ආයතනයක් ඉදිරිපත් නොකර තිබීමත් ඒ සඳහා කිසිදු රාජ්‍ය නොවන සංවිධානයකට අවස්ථාවක් ලබා නොදී තිබීමත් වේ.

ඉහත කරුණු සළකා බලනවිට අපහට හැඟීයන්නේ මාරපන මාවතේ ජිනීවා යෑම යනු කෙදිනකවත් අපගේ වීරෝධාර රණවිරුවන් යුද අපරාධ චෝදනා වළින් නිදහස් නොවන බවත්, යම් හෙයකින් ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමෙන් ඉතිරි නිර්දේශද ක්‍රියාත්මක කිරීමේ අවධානමක් පවතින බවත් වේ.

පසුගිය ජනාධිපති මැතිවරණයේදි, රණවිරුගායෙන් යුක්තව, දහස් සංඛ්‍යාත දේශප්‍රේමී ජනතාවක් විදේශ වල සිට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණියේද, ඒ හේතුවෙන් රටේ ලක්ෂ සංඛාත ජනකායක් ඡන්දය පාවිච්චි කලේද, සාධනීය ලෙස රජය රණවිරුවන්ට එල්ලවී ඇති යුද අපරාධ චෝදනා වලින් ඔවුන් ගලවා ගැනීම සඳහා ඉදිරිපත් වේය යන බලාපොරොත්තුවෙන් යුක්තව වේ.

එබැවින්, විදේශ කටයුතු පිළිබඳව රාජ්‍ය ඇමති ගරු සුසිල් ප්‍රෙම්ජයන්ත මැතිතුමා සමග ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටු සාමාජිකයින් සහ ජාතික සංවිධාන සාමාජිකයින් පසුගියදා කතිකා කරගත් පරිදි පූර්ණකාලීන කමිටුවක් පත්කරන ලෙසත්, කමිටු නිර්දේශ මත නව රජය යටතේ එළඹෙන පළමු මානව හිමිකම් සමුළුවට රණවිරුවන් නිර්දෝශ බව හෙළිකරන වාර්තාවක් ඉදිරිපත් කරණ ලෙසත්, ඒ මගින් 30/1&40/1 ජිනීවා යෝජනා සඳහා සම අනුග්‍රහයෙන් ඉවත්වීමට කටයුතු කරණ ලෙසත් ඉල්ලා සිටිමු.

මීට,

ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුව

COMMENTS