මේ ආණ්ඩුව රණවිරුවන්ට සැලකුවේ ඉතා නින්දිත ලෙසයි – සරත් වීරසේකර

මේ ආණ්ඩුව රණවිරුවන්ට සැලකුවේ ඉතා නින්දිත ලෙසයි – සරත් වීරසේකර


මංගල සමරවීර දැන් පුරසාරම් දෙඩෙව්වත් වර්තමාන ආණ්ඩුව රණවිරුවන්ට සැලකුවේ ඉතා නින්දිත ආකාරයට බව රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි.

ඊයේ (09) ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුව විසින් පැවැත්වී මාධ්‍ය හමුවකට එක්වෙමින් වීරසේකර මහතා මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරසේකර මහතා

‘‘ අපි දැක්ක මීට දවස් 2 පමණ පෙර මාධ්‍ය හමුවක් තියල මංගල සමරවීර ඇමතිතුමා කියනවා මේ රජය රණවිරුවන්ට හොදට සැලකුව කියල. පඩි වැඩිකලා කියල . පසුගිය රජයට වඩා රණවිරුවන්ට ගෞරව කලා කියල.

එම ප්‍රකාශය සම්පූරණයෙන්ම සාවද්‍ය ප්‍රකාශයක් . අද වන තුරු ජනාධිපතිවරයා පොරොන්දු උනත් අබාධිත රණවිරුවන්ට අවුරුදු 55 පස්සේ ඔවුන්ගේ වැටුප ලැබෙන්නෙ නැහැ. මිය ගිය රණවිරුවන්ගේ පවුල් වල සාමාජිකයන්ටත් අවුරුදු 55 පස්සෙ වැටුප ලැබෙන්නේ නැහැ.

මේ රජය තමා අබාධිත රණවිරුවන් තමන්ගේ වැටුප ගැන උද්ඝෝෂණය කරන කොට කදුලු ගෑස් ගහල ප්‍රහාර එල්ලකළේ.

ඒ වගේම තමා මේ මංගල සමරවීර ඇමතිවරයා අග්‍රාමාත්‍යවරයාගේ අනුදැනුම මත ජිනීවා නුවර රණවිරුවන් යුද අපරාධ කල කියල රණවිරුවන් නොකරපු වැරදි ජිනීවාල පිලි අරගෙන රණවිරුවන්ට එරෙහිව ගෙන ආ යෝජනාවට සම අනුග්‍රහය ලබාදුන්නේ.

ඒ වගේ රජයක් මේ වගේ ප්‍රකාශයන් කරන කොට රණවරුවන් ලෙස අප එය හෙළා දකිනවා. එදා සම දායකත්වය ලබාදුන් 30/1 යෝජනාව පිළිබදව අද වන විට කිසිදු කතාබහක් නැහැ. නමුත් එහි ප්‍රගතිය සලකා බලන්නේ තව අවුරුදු 2කින්. ඒ වන විට රණ විරුවන්ට එරෙහිව කල යුතු වැඩකටයුතු මේ වන විට මේ ආණ්ඩුව විසින් සකසා අවසන්.

මේ රජය රණවිරුවන්ට සැලකුවේ ඒ ආකාරයට ඉතා නින්දිත ලෙස.

ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ විධායක සභාව මෙවරත් ජිනීවා ගිහිල්ලා අපේ රණ විරුවන් වෙනුවෙන් කතා කරනවා. මේ ආණ්ඩුව සම දායකත්වය ලබාදුන් රණවිරුවන් දණ්ගෙඩියට යවන 30/1 යෝජනාවට එරෙහිව කතා කරනවා. ඒ වගේම අපි ජනාධිපතිතුමන්ට කියනවා මේ කරුණ ගැන සොයා බලා රණවිරුවන්ට සාධාරණයක් කරන්න කියල. එතකොට තමයි රණවිරුවන්ගේ අනාගතය වෙනුවෙන් ඔවුන්ගේ අහැට සතුටු කදුලක් එන්නෙ‍ “

එහිදී අදහස් දැක්වූ බැල්ලන්තුඩාව මහතා

‘‘ මෙවර ජිනීවා නුවර මානව හිමිකම් කොමිසමේ 41 වන සැසිවාරයට ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ විධායක සභාව නියෝජනය කරමින් කන්ඩායමක් සහභාගි වෙනවා. අපි මෙවර සමාන්තර සැසිවාරයක් සහා මහ සභාව අමතා කෙටි දේශන හතක් පැවත්වීමට කටයුතු යොදා තිබෙනවා.

රට වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍යාංශ කලයුතු වගකීමට තමා අප උරදි සිටින්නේ. 2015 ජනවාරි 08 බලයට පත් වුණ මෛත්‍රීපාල -වික්‍රමසිංහ ආණ්ඩුව අත් දෙක උස්සල දණ ගහලා ස්වෛරී රටක් හැටියට අපගේ ස්වාධිපත්‍යය සහ රණවිරුවන් පාවා දීලා තමා 30/01 යෝජනාවට සමදායකත්වය දැක්වුයේ. 30/01 යෝජනාවෙන් පැහැදිලිව උපදෙස් දීලා තියෙනවා අපේ හමුදාව ප්‍රතිව්‍යුහගත කරන්න කියලා. ඒකට බ්‍රිතාන්‍යය පවුම් දහස් ගණනාවක් වියදම් කරනවා. අපේ හමුදාව ප්‍රතිව්‍යුහගත කරන්න ඇමරිකාවට බ්‍රිතාන්‍යට තියෙන අමාරුව මොකක්ද?බුද්ධි අංශ දුර්වල කරලා යුද්ධයට නායකත්වය දුන්න රණවිරු නායකයන්ට දඬුවම් කරන්න මේ යෝජනාවලියෙන් අපි බැඳි ඉන්නවා.එකනැලිගොඩගේ සිද්ධිය, කීත් නෝයාර් හා උපාලි තෙන්නකෝන් සම්භන්ධයෙන් බුද්ධි අංශ නිළධාරින් අත් අඩංගුවට ගත්තා. අවුරුද්දකට වඩා රඳවල තිබ්බා . අවුරුදු 4ක් ගිහිල්ලා තාම නඩුවක් දාගන්න බැරි වුණා. ලෝකයේ බිහිසුණුම ත්‍රස්තවාදය පරාජයට පත් කරපු හමුදාව මෙහෙම අඩපණ කිරිමේ අවසාන අරමුණ ශ්‍රි ලංකාව අනාරක්ෂිත දුර්වල රාජ්‍යක් කිරිමයි.

අපේ නිවට ආණ්ඩුව මෙහෙම කරන කොට තෙරේසා මේ බ්‍රිතාන්‍යය අගමැති තුමිය ඉරාකයේ යුධ අපරාධ චෝදනා ලබපු බ්‍රිතාන්‍ය සෙබළුන්ට වන්දිත් දීලා පරිස්සම් කලා. බ්‍රෙක්සිට් පාර්ට් 2 කියලා තෙරේසා මේ යුරෝපා මානව හිමිකම් නීතියත් පයින් ගහලා විසි කලා.

30/01 යෝජනාවලියත් ඊට පස්සෙ ආපු 40/01 යෝජනාවෙනුත් අපිට බලකලා ත්‍රස්තවාදය අවසන් කිරිමේ පණත අහෝසි කරන්න කියලා. ඒ එකඟතාව නිසා තමා රනිල් වික්‍රමසිංහ සැහෙන්න මහන්සියක් ගත්තේ ප්‍රතිත්‍රස්ත පණත ගේන්න. මහසංඝරත්නයේ හා ජාතික සංවිධාන වල විරෝධතාව මත ඒ පණත අන්තිම මොහොතේ අකුළ ගත්තත් ආයේ කොයි මොහොතේ හරි ඒක ගේනවා මේ ආණ්ඩුව.

මෛත්‍රීපාල -වික්‍රමසිංහ ආණ්ඩුව බුද්ධි අංශ අඩපණ කරලා හමුදාව දුර්වල කරපු වට පිටාවක තමා සහරාන්ගේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල වෙන්නේ. මේ සියලු දේට මූලය වුනේ මේ ආණ්ඩුවේ න්‍යාය පත්‍රය වෙච්ච 30/01 යෝජනාවලියයි. ජීනිවා නුවර සටන ජය ගන්න නම් අපි මේ නිවට ආණ්ඩුව ගෙදර අරින්නම ඕනේ. ඒ වගෙම ඊළගට එන කවර හෝ ජනාධිපති අපේක්ෂකයෙක් 30/01 යෝජනාවට සමදායකත්වය ඉවත් කරගන්න බවට ජනතාව ඉදිරියේ වගකීමට පත් කළ යුතුයි. ඒ නිසා ජීනීවා යෝජනාව පරාජයට පත් කරන සටන්බිම වෙන කොහෙවත් නෙමේ. මේ මවුබිම තුලමයි. ඒ සටනට භික්ෂුන් වහන්සේලා ප්‍රමුඛ සියලු ජනාතාව පෙරට ආ යුතුය. ‘‘

මෙම මාධ්‍ය හමුවේදී රියර් අද්මිරාල් සරත් වීරසේකර / බෙංගමුවේ නාලක ස්වාමීන්වහන්සේ / වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අදහස් දක්වන ලදී.

COMMENTS