ගෝලීය ශ්‍රී ලාංකේය සංසදයේ – විධායක කමිටුව – 42 වැනි මානව අයිතිවාසිකම් කොමිසමේ

ගෝලීය ශ්‍රී ලාංකේය සංසදයේ – විධායක කමිටුව – 42 වැනි මානව අයිතිවාසිකම් කොමිසමේ

 

ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට තීරණාත්මක කඩඉමක් වන ජිනීවා හි පිහිටා ඇති ‘මානව අයිතිවාසිකම් කොමිසමේ’ 42 වැනි සැසිවාරය සැප්තැම්බර් මස 09 වැනිදා සිට 27 වැනිදා දක්වා ස්විස්ටර්ලන්තයේ දී පැවැත්වීමට නියමිතය.

දෙමළ ඩයස්පෝරාව මගින් ශ්‍රී ලංකාවට එරෙහිව සිදු කෙරෙන සාවද්‍ය චෝදනාවලට නිරවුල් සහ නිවැරදි පිළිතුරු සැපයීම සඳහා ගෝලීය ශ්‍රී ලාංකේය සංසදයේ විධායක කමිටු සාමාජිකයන් මෙම සමුළුවට, මෙවරත් සකී‍්‍රය දායකත්වය සැපයීමට පූර්ණ සූදානමකින් හිඳී. එය මූලික අදියර තුනක් යටතේ සිදු කිරීමට නියමිතය.

ඡායාරූප ප්‍රදර්ශනය – ‘‘ත්‍රස්තවාදයේ සිට සාමය දක්වා 1975-2020’’ යන තේමාව යටතේ සංවිධානය කෙරෙන ඡායාරූප ප්‍රදර්ශනයක්, සැප්තැම්බර් මස 21-22 යන දෙදින තුළ ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානය සහ ජිනීවා මානව අයිතිවාසිකම් කාර්යාලය ඉදිරිපිට දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

දෙවැනි අදියර ප්‍රධාන සැසිවාර ඇමතීම් පහකින් සමන්විත වන අතර, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අතිශය වැදගත් මෙන්ම තීරණාත්මක අදියර වන්නේ ද මෙයයි.

මෙම දේශනවල මුඛ්‍ය පරමාර්ථය වන්නේ දෙමළ ඩයස්පෝරාව සහ ඔවුනට පක්ෂපාතී මානව ක්‍රියාකාරිකයන් නඟන්නා වූ සාවද්‍ය යුද අපරාධ චෝදනාවලට පිළිතුරු සැපයීම මෙන්ම එල්ටීටීඊ සංවිධානය කළ සාපරාධී මනුෂ්‍ය ඝාතන, රාජ්‍ය දේපළ විනාශ කිරීම් ආදිය සම්බන්ධයෙන් කරුණු දැක්වීමය.

එමෙන්ම ශ්‍රී ලංකාව තුළ අන්‍ය ජාතිකයන්ට එරෙහිව කටයුතු කරන බවට මෙන්ම අසාධාරණයට ලක් කරන බවට සහ සමූල ඝාතනය කිරීමට කටයුතු කරමින් හිඳින බව කියමින් බෙදුම්වාදී දෙමළ ඩයස්පෝරාව මානව අයිතිවාසිකාම් කොමිසම ඉදිරියේ නඟන්නා වූ අසත්‍ය, අභූත චෝදනාවලට විරුද්ධව කරුණු දැක්වීමත් මෙම සැසිවාරවල දී සිදු වනු ඇත.

තෙවැනි අදියර පැවැත්වෙනුයේ ‘සමාන්තර සැසියක්’ ලෙසිනි. ‘ශ්‍රී ලංකාවේ සංහිඳියා ගමනට තිබෙන බාධක’ යන තේමාව යටතේ 30/1 ඇතුළු යෝජනාවල බලපෑම්, යෝජනා සැකසීමේ දී දේශීය සාධක සැලකිල්ලට නොගැනීම, ජාත්‍යන්තර දමිළ ඩයස්පෝරාවේ ඍණාත්මක බලපෑම්, නිවැරදි නායකත්වයක් නොමැති වීම ආදී කරුණු සාකච්ඡාවට බඳුන් කෙරෙනු ඇත.

මේ සඳහා ගෝලීය ශ්‍රී ලාංකේය සංසදය විධායක කමිටු වෙනුවෙන් පහත නම් සඳහන් විද්වත් මණ්ඩලය සහභාගි වනු ඇත. එනම් නීතිඥ ජයරාජ් පලිහවඩන, නීතිඥ ටෙනී ප්‍රනාන්දු, නීතිඥ කසුන් පොන්නම්පෙරුම සහ මහාචාර්ය මෙහෙමුට් සුකෘ ජිසෙල් ය.

හතරවන අදියර යටතේ දැනටමත් යොමු කර අවසන් ලිඛිත දේශන 09 ක් විශේෂයෙන්ම පහතින් සඳහන් වෙන්නා වූ වාර්තා, කොමිසමට සහ එහි සාමාජික රටවලට ඉදිරිපත් කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තිබෙන්නා වූ 30/01 සහ 40/01 යෝජනා මඟින් සංහිඳියාව ඇති කරවන්නට නොව ශ්‍රී ලංකාවේ රාජ්‍යාරක්ෂාව බිඳ වැටීමට සහ අවදානමට ලක් වීමට හේතු පාදක හේතු වූ සහ ජනවර්ග අතර වෛරය, අසමගිය සහ අවිශ්වාසය ඇති කරවන්නක් බවට තහවුරු කෙරෙන වාර්තාව.

මෙය ගෝලීය සංසදයේ විධායක සභාව වෙනුවෙන් නීතිඥ කසුන් පොන්නම්පෙරුම විසින් සකස් කර තිබේ.

මානව හිමිකම් කොමිසමේ පසුගිය සැසිවාරයේ දී ලංකාවට එරෙහිව අසත්‍ය කරුණු ඉදිරිපත් කළ එල්ටීටීඊ හිතවාදීන් සඳහන්ව ඇති අසත්‍ය, ද්වේෂය සහ වෛරය කුළුගන්වන ආකාරයේ කරුණු සොයා බලා, ඒ සම්බන්ධයෙන් දැක්විය යුතු පිළිතුරු ද සමඟ සකස් කර ඇති වාර්තාව, පැමිණිල්ලක් ලෙස ඉදිරිපත් කිරීම ද සිදුවනු ඇත. මෙය ගෝලීය සංසදයේ විධායක සභාව වෛද්‍ය රුවන් පරාක්‍රමවංශ යන අයගේ සහයෝගයෙන් සිදු කර ඇත.

මානව අයිතිවාසිකම් කොමසාරිස්වරියගේ සහ ඇතැම් සාමාජික රටවල් විසින් ශ්‍රී ලංකාවේ නව යුද හමුදාපතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් සිදු කරන ලද ප්‍රකාශ මඟින්, කොමිසම තම බලය ඉක්මවා කටයුතු කරමින් ස්වාධීන රටක ස්වෛරීයභාවයට හානිවන පරිදි කටයුතු කර ඇති බවට දැක්වෙන පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම.

මෙවරත් සමස්ත වැඩසටහනම විධායක සභාවේ ස්විස්ටර්ලන්ත සභාපති එරික් මාකවිට මහතාගේ මූලිකත්වයෙන් සිදු කෙරේ. ස්විස්ටර්ලන්තය වෙනුවෙන් රනිල් ජයනෙත්ති, බ‍්‍රයන් බස්නායක, එක්සත් රාජධානිය වෙනුවෙන් නීතිඥ ජයරාජ් පලිහවඩන, ප්‍රසංග ජයමාන්න, සුසන්ත ගුරුගේ, පෝලන්තය වෙනුවෙන් සේනක රාජපක්ෂ සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නීතිඥ ටෙනී ප්‍රනාන්දු සහ නීතිඥ කසුන් පොන්නම්පෙරුම යන මහත්වරු සහභාගි වීමට නියමිතය.

ගෝලීය ශ්‍රී ලාංකේය සංසදය මානව අයිතිවාසිකම් කොමිසම සහ දෙමළ ඩයස්පෝරාව හමුවේ ඉටු කරනු ලබන්නේ අභියෝගාත්මක කාර්යභාරයකි. ඔවුන්ගේ මැදිහත්වීම නොවන්නට ශ්‍රී ලංකාවට අන්තර්ජාතික වශයෙන් බරපතළ අසීරුතාවන් රැසකට මුහුණ දීමට සිදු වනු නිසැකය.

COMMENTS